Monday, August 29, 2016

අනුරාධපුර යුගය



වසර 100 කට වඩා වැඩි කාලයක්‌ දෙස්‌ විදෙස්‌ පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ හා ඉතිහාසඥයන්ගේ අවධානයට පාත්‍ර වූ මර්මස්‌ථානයක්‌ ලෙස අනුරාධපුරය පෙන්වා දිය හැකිය. ගොඩනැඟිලි නෂ්ටාවශේෂ හා මූලාශ්‍රගත තොරතුරු උපයෝගී කර ගනිමින් යටත් විජිත පාලන සමයේදී අනුරාධපුර ඉතිහාසය අධ්‍යයනය කරන ලද විද්වත්හු අනුරාධපුරයේ ඉතිහාසය වසර 2500 ක්‌ පමණ පැරැණි යෑයි පෙන්වා දුන්හ. බොහෝ විද්වතුන්ගේ මතය වූයේ උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය සමඟ පැමිණි ඇමැතිවරු වූ අනුරාධ ඇමැති කොලොම්හොය ඉවුරෙහි (වර්තමාන මල්වතු ඔය) අනුරාධ ග්‍රාමයත්, උපතිස්‌ස ඇමැති ගම්භීර නදී නිම්නයේ (වර්තමාන කනදරා ඔය) ආසන්නයේ උපතිස්‌ස ග්‍රාමයත් පිහිටුවීමෙන් අනතුරුව අනුරාධපුරය ඇසුරින් ජනාවාස වීම් ආරම්භවී ඇති බව ය. (මව ඪVii( 43 - 45)

යටත් විජිත පාලන සමයේදී අප රටේ ජන විඥානයට කාවද්දනු ලැබූ මෙම මතවාදය අද වන විටත් ප්‍රබල ලෙස සමාජගත වී තිබීම නිසා පාසල තුළත්, විශ්වවිද්‍යාලය තුළත් පරිබාහිර සමාජයේ බොහෝ දෙනකු ශ්‍රී ලාංකීය ජන සම්භවය හා සංස්‌කෘතිය සඳහා උතුරු ඉන්දීය ජානගත සම්බන්ධතාව පෙන්වා දීමට පමණක්‌ කටයුතු කරනු පෙනේ. නමුත් මේ තත්ත්වයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව මුල් වරට විමර්ශනය කිරීමට පෙළඹෙනු ලබන්නේ පශ්චාද් යටත්විජිත සමයේදී අනුරාධපුරය පැරැණි නගරය තුළ ආරම්භ කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණ තුළිණි. පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල සහ පී. ඩී. සෙස්‌තියරි විසින් අනුරාධපුර ඇතුළුපුරයේ ඊසාන දිග භූමි භාගයේ ගෙඩිගේ ප්‍රදේශය ආසන්නයේ සිදුකළ කැණීම්වල දී පස්‌ ස්‌ථර ඇසුරින් හමු වූ විවිධ මැටි භාජන වර්ග අනුරාධපුර ආදී ඉතිහාසය අයත් සංස්‌කෘතීන් නියෝජනය කරන ඒවා බව උපකල්පනය කරන ලදී. ඒ අතරින් මටසිළුටු අළු පැහැ බඳුන් (රූලේටඩ් බඳුන්) කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. (Deraniyagala P.E.P.( 1958 : 1959) පී. ඊ. පී. දැරණියගල හා සෙස්‌තියරි ආරම්භ කරනු ලැබූ පර්යේෂණවල ප්‍රතිඵලය අපට දැන ගැනීමට ලැබෙනුයේ 1969 වර්ෂයේ දී ශිරාන් දැරණියගල සිය පියා හා සෙස්‌තියරි අත් හරිනු ලැබූ ආදිතම ඓතිහාසික සමතලයට ළඟා නොවූ ඇතුළුපුර පස්‌ ස්‌ථර ලිත කැණීම් අනුව කැණීම් කොට ස්‌ථර ආශ්‍රයෙන් හමු වූ විවිධ භෞතික සංස්‌කෘතික තොරතුරු අනුව ප්‍රාග් අනුරාධපුර සංස්‌කෘතිය එතෙක්‌ පිළිගත් සීමාවෙන් ඔබ්බට ගමන් කරන බව පෙන්වාදීම තුළිණි. (Deraniyagala:
1972; 1992)

       

ලේඛනගත ප්‍රභවයන්ට අනුව විජයගෙන් ආරම්භ වූ බව සඳහන් අනුරාධපුර ඉතිහාසය එම කාල සීමාවෙන් තවත් සහශ්‍ර වර්ෂ තුනහමාරක්‌ පමණ එනම් අවුරුදු 3400 ක්‌ ඈතට ගමන් කරන බව AG, ADB, ASW, AMP ආදී ස්‌ථාන නාම යටතේ අනුරාධපුර ඇතුළුපුරයේ සිදු කරනු ලැබූ කැණීම් සාධකවලට අනුව දැරණියගල පෙන්වා දෙනු ලැබීය. දැරණියගලගේ පර්යේෂණ දත්ත අනුව පැහැදිලි වන්නේ වර්තමානයේ ඇතුළුපුරය තුළ මුල්ම පදිංචිකරුවන් ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා වැසියන් වන බවය. වර්තමාන මතුපිට පොළොව මට්‌ටමේ සිට අඩි 40 ක්‌ පමණ පොළොව අභ්‍යන්තරයේ පිහිටන මව් පාෂාණය මතින් ආරම්භ වන රතු දුඹුරු පැහැ (Reddish Brown
Earth) බොරළු පස්‌ තට්‌ටුවේ අදින් අවුරුදු 5900 කට පෙර (ක්‍රි. පූ. 3900) දී එම භූමියේ ජීවත් වූ බලංගොඩ මානවයා වශයෙන් හැඳින්වෙන හෝමෝ සේපියන් සේපියන් විසින් භාවිත කරන ලද ශිලා මෙවලම් සොයාගෙන ඇත. (Deraniyagala: 1972; 1992) විවිධ ජ්‍යාමිතික හැඩවලට සකස්‌ කරනු ලැබූ මෙම ශිලා මෙවලම් කහඳ හා තිරුවානා භාවිත කොට සකස්‌ කොට තිබෙන ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් (Microlithics) වශයෙන් හඳුනාගෙන තිබේ.

අනුරාධපුරයේ ඇතුළුපුරයේ අදින් අවුරුදු 5900 කට පෙර ජීවත් වූ මධ්‍යශිලා යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කරනු ලැබූ මයික්‍රොලිතික ගල් ආයුධවලට සමානතා ඇති කහඳ හා තිරුවානා පාෂාණවලින් නිර්මාණය කරනු ලැබූ ශිලා මෙවලම් ඇතුළුපුරයෙන් දකුණු දිග භූමි වන ෙ-තවන විහාරය ආශ්‍රිතව JSMP 2002, JSWMP 2003,, JSOWP 2003 ස්‌ථාන නාම යටතේ සිදු කරන කැණීම්වලදී 2006 වසරේ වෙස්‌සගිරිය ආශ්‍රිතව සිදු කළ VGHL EX 01 කැණීමෙන් ද ලැබී තිබේ. ඒ අනුව ඇතුළුපුරයෙන් පමණක්‌ නොව ඉන් හාත්පස පිහිටි භූමි භාගවල ද රතු, දුඹුරු පාංශු කලාපයේ ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් මධ්‍යශිලා යුගය නියෝජනය කළ බලංගොඩ මානවයා වාසය කළ බවට සාධක වාර්තා වී තිබේ. (මැන්දිස්‌ 2009) මේ නිසා අනුරාධපුරයේ මුල්ම පදිංචිකරුවන් විජය මෙරටට පැමිණීමට අවුරුදු 3400 කට පෙර ජීවත් වූ මධ්‍යශිලා යුගය නියෝජනය කරන මානවයන් වූ බව මෙම භෞතික සංස්‌කෘතික තොරතුරුවලින් පැහැදිලි වේ.

ප්‍රාග් අනුරාධපුර යුගය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මධ්‍ය ශිලා මානවයින් ජීවත් වූ වකවානුවට පසුව අනුරාධපුරය වාසභූමි කරගනු ලබන්නේ පූර්ව ඓතිහාසික (Proto) යකඩ යුගයේ ජන කණ්‌ඩායම් ය. අදින් අවුqරුදු 3000 කට පෙර (ක්‍රි. පූ. 1000) එනම් විජය පැමිණීමට ශත වර්ෂ 5 කට පෙර මෙම සංස්‌කෘතිය අනුරාධපුරයේ ක්‍රියාත්මක වී තිබේ.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්‌කෘතික අවධිය අප රටේ සංස්‌කෘතියේ හැඩ ගැසීම් යුගය වශයෙන් හඳුනාගත හැකි බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත. ((Seneviratne: 1996) මෙම තාක්‍ෂණික සංස්‌කෘතික අවධියේ විශේෂත්වය වන්නේ ඊට පෙර පැවැති යුගයට වඩා තාක්‍ෂණයේ දැක ගත හැකි දියුණුවයි. එහි ප්‍රධාන තාක්‍ෂණය වූයේ ලෝහ තාක්‍ෂණයයි. තාක්‍ෂණයක්‌ ලෙස ලෝහ මෙම සංස්‌කෘතික පිරිස භාවිත කිරීම නිසා පරිසරය ජය ගැනීමට වඩා පහසු විය. ලෝහ තාක්‍ෂණය මූලික කරගත් පූර්ව ඓතිහාසික සංස්‌කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ අර්ධද්වීපික දකුණු ඉන්දියාවෙන් බව පුරාවිද්‍යාඥයන් පෙන්වා දී තිබේ. (Seneviratne: 1984 : 1996) දැනට සිදුකර ඇති පර්යේෂණ දත්ත අනුව මුල් යකඩ යුගයේ මෙම සංස්‌කෘතිය දකුණු ඉන්දියාවේ ක්‍රි. පූ. 1800 දී (අදින් අවුරුදු 3800) ක්‍රියාත්මක වූ බව ආදිච්චනල්aලූර් මෙගලිතික සොහොන් භූමිය ආශ්‍රිත පර්යේෂණවලින් පැහැදිලි වන බව ආචාර්ය සත්‍යමූර්ති ප්‍රකාශ කොට තිබේ. නමුත් මෙම පර්යේෂණවලට පෙර දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්‌කෘතිය ක්‍රි. පූ. 1200 (අදින් අවුරුදු 3200) පමණ දී ක්‍රියාත්මක වූ බව මහාචාර්ය රාජන් හා ජී. පසෙල් පෙන්වා දී තිබේ.

- අනූෂා තුෂාරි


No comments:

Post a Comment