Thursday, August 25, 2016

බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කට්‌තුමා



විජිත කදිරගොන්න
උප සභාපති කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය

මෑත කාලීන ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස සැලකෙන සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා උත්පත්තියෙන් ඇමෙරිකන් ජාතිකයෙකි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට හා බෞද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට උපරිම සහයක්‌ දුන් එතුමා 1832 අගෝස්‌තු මස 02 වැනි දින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඔරෙන්ඡ් නම් ග්‍රාමයේ උපත ලබා ඇත. එතුමාගේ පියා හෙන්රි චයිකෝµ ඕල්කට්‌ මහතාය. මෑණියන් ඇට්‌ලි ස්‌ටීල් මැතිණියයි. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් පස්‌දෙනෙකි. නිව්යෝක්‌ නුවර පාසල් කීපයකින්ම මූලික අධ්‍යාපනය ලද ඕල්කට්‌තුමා පසුව නිව්යෝක්‌ සරසවියේ අධ්‍යාපන කටයුතුවල නිරත විය. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු උතුරු ඔහියෝ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරත විය. නැවත නිව්යෝක්‌ නුවරට පැමිණ ඔල්කට්‌ තුමා කෘෂිකාර්මික රසායන විද්‍යාව පිළිබඳ හදාරා විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට අදාළව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමත්, මවුන්ට්‌ වර්නන්හි වෙස්‌ට්‌වෙස්‌ටර් ගොවිකම් පාසල ආරම්භ කිරීමත් ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් සිද්ධීන්ය.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන වකවානුව වනවිට බෞද්ධ ශිෂ්ඨාචාරයේ හා බෞද්ධ අධ්‍යාපනයට අදාළව සිරිලක පැවැති තත්ත්වය බෙහෙවින් ෙ€දජනක විය. අනුරාධපුර, පොලොන්නරු යුගවලදී උසස්‌ තත්ත්වයක පැවැති බෞද්ධ ශිෂ්ඨාචාරය විදේශික ආක්‍රමණ එකිනෙකා මරාගන්නා රණකාමිත්වය හා බටහිර ජාතීන් කණ්‌ඩායම් තුනක්‌ මගින් වසර 500 කට ආසන්න කාලයක්‌ අපගේ දේශය යටත් විජිතයක්‌ වශයෙන් පවත්වාගෙන යැම ආදිය නිසා පිරිහීමට පත්විය. මෙවන් තත්ත්වයක්‌ පවතිද්දී පූජ්‍යපාද වැලිවිට සංඝරාජ නායක හිමියන්ගේ නොපසුබට අධිෂ්ඨානය හේතුකොටගෙන මහ සඟ පරපුරක්‌ ලක්‌දිව ඇති වීමටත්, පිරිවෙන් අධයාපනය යලි ක්‍රියාත්මක කිරීමටත්, සාමනේරවරුන් සඳහා පොත් ලිවීමටත් මග සැලසුනි. එවන් පිරිවෙන් අතරින් රත්මලාන පරම ධම්ම ෙච්තිය පිරිවෙන පූජ්‍යපාද වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්‌වාමීන් වහන්සේ යටතේ ද, විෙද්‍යාදය පිරිවෙන පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායකහිමිපාණන් වහන්සේ යටතේ ද, කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන පූජ්‍යපාද රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නායක ස්‌වාමීන් වහන්සේගේ භාරකාරත්වය යටතේ ද පිහිටුවන ලදී. මේ වනවිට දිවයිනේ උසස්‌ භික්‍ෂුන් වහන්සේලා රාශියක්‌ වැඩ විසූහ. ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත බෞද්ධ අධයාපනය ලබාදෙන මධ්‍යස්‌ථානයක්‌ බවට විහාරස්‌ථානය පත්කළ පූජ්‍යපාද වස්‌කඩුවේ සුභූති ස්‌වාමීන් වහන්සේ හා ප්‍රසිද්ධ විද්‍යාර්ථයෙකු හා පඬිවරයකු වූ පූජ්‍යපාද දොඩන්දූවේ පියරතන නායක ස්‌වාමීන් වහන්සේ ද ඒ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්හ.

බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධයේ පුරෝගාමී භික්‍ෂුන් වහන්සේ වශයෙන් සැලකිය හැකි පූජ්‍යපාද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම මත වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නායක ස්‌වාමීන් වහන්සේ කිතුණුවන් සමඟ බද්දේගම 1864 දී, උදම්විට 1866 දී, ඔරුගොඩවත්තේ 1899 දී, ගම්පොල 1871 දී හා පානදුරේ 1873 දී වාද පැවැත්වූහ. මේ හැම වාදයකින්ම වාදීභසිංහ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ජය ලැබූහ. එය උන්වහන්සේ ඇතුළු කණ්‌ඩායමට පමණක්‌ පෞද්ගලික වූ විජයග්‍රහණයක්‌ නොව පොදුවේ ලාංකික බෞද්ධයා ලැබූ විජයග්‍රහණයක්‌ විය.

පානදුරා වාදය ඇතුළු සියලු වාදවල ඉංග්‍රීසි පරිවර්තනයක්‌ "සිලෝන් ටයිම්ස්‌" (පසුව ටයිම්ස්‌ ඔµa සිලෝන්) පුවත්පතේ ජෝන් කුරේ මහතා විසින් සකස්‌කරන ලද අතර එය ඡේ. එම්. පීබල්ස්‌ විසින් පොතක්‌ වශයෙන් සකස්‌ කරන ලදී. මෙම පොත් පිංචට පෙර නොදුටු විරූ ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර එම පොත වේගයෙන් ජනතාව අතරට ගියේය. විදේශ රටවල ද මෙම පොත ජනප්‍රිය විය. වීරෝධාර යුද නිලධාරියකු, විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන වගා කටයුතුවල යෙදුණු ගොවියකු, හසල බුද්ධියක්‌ ඇති ප්‍රසිද්ධ නීතිවේදියකු, පරම විඥනාර්ථවාදී නිදහස්‌ චින්තකයකු, සත්‍ය ගවේශකයකු හා මානව හිතවාදියකු වූ ඕල්කට්‌ තුමාට මෙම පොත් කියවීමට අවස්‌ථාව ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේලා හමුවීමටත්, ලක්‌දිව බෞද්ධ කටයුතු දැකබලා ගැනීමටත් ඔහුට අවශ්‍ය විය. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බොහෝ කාලයක සිට ලක්‌දිව භික්‍ෂුන් වහන්සේලා සමඟ ඕල්කට්‌තුමා ලිපි ගෙනුදෙනු කර ඇත.

ඕල්කට්‌තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන විටත් අප රට මහා බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්‌ව පැවතුණි. එතුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය රැගත් නැව 1880 මැයි 17 වැනි දින ගාලු වරායට සේන්දු විය. ඕල්කට්‌තුමා ගැනත් ඔවුන්ගේ සේවාවන් කල් තබා දැන සිටි ලාංකිකයන් විශාල පිරිසක්‌ එතුමන්ලා පිළිගැනීමට යුහුසුළු වූහ. ගාල්ලේ ධනවත් බෞද්ධයකු වූ සයිමන් පෙරේරා අබේවර්ධන මහත්මාගේ නිවසේ විශේෂ භෝජන සංග්‍රහයක්‌ සූදානම් කර ඒ සඳහා ව්‍යාංජන වර්ග 57 ක්‌ පිළියෙල කර තිබූ බවත් සෑම ව්‍යාංජනයකම රස බැලීමට ඕල්කට්‌තුමා ඇතුළු පිරිසට ගෙහිමියන් පෙරැත්ත කරමින් බෙදමින් දැක්‌ වූ පුදුම සහගත ආගන්තුක සත්කාරය පිළිබඳ තම දිනපොතේ ඕල්කට්‌තුමා සටහන් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වී ඇත.

1880 මැයි 19 වැනි දින ගාල්ලේ බෞද්ධ ජනතාව වැලිවත්තේ විජයානන්ද විහාරස්‌ථානයේ දී බෞද්ධ අති විශාල ජනතාවක්‌ ඉදිරියේ දී පැවැත් වූ ගෞරවාන්විත උත්සවයේ දී පූජ්‍යපාද අක්‌මීමන ධර්මාරාම හිමියන්ගෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්වීමෙන් ඕල්කට්‌තුමා හා බ්ලැවට්‌ස්‌කි මැතිණිය ඇතුළු දූත පිරිස උපාසක උපාසිකාවන් බවට පත්වූහ. ඒ බව සඳහන් කරමින් එතුමාගේ අත් අකුරින් ලියූ ලිපියක්‌ ද කෞතුක වස්‌තුවක්‌ වශයෙන් අදත් ආරක්‍ෂා කරගෙන ඇත. 1880 මැයි මාසයේ දී පරම විඥනාර්ථ සමාගමේ ශාඛාවක්‌ ගාල්ලේ පිහිටුවන ලදී.

ඉදිරිපත් කිරීම : සමන් මහී


No comments:

Post a Comment