Thursday, April 21, 2016

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට රජගල හෙවත් රාස්ස හෙල


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කළ ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල හෙවත් රාස්ස හෙළ නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භූමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී.මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයක ද තැන්පත් කර දාගැබ් සාදන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ මෙම රජගල හෙවත් රාස්ස හෙළ මුහුදු මට්ටමෙන් අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්ත තද බෑවුම් සහිත වුවද උතුරු පැත්ත මායිම් වන්නේ ක‍්‍රමානුකූලවය.මේ පුද බිමෙහි පර්වතයක කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන බ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද පහත සඳහන් සෙල්ලිපිය අදත් දැක ගත හැකිය.“යෙ ඉමදිප පටමය ඉදිය අගනන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයයි.”මෙම පර්වත ලිපිය අසල ගරා වැටුණු දාගැබක නටබුන් ද පරණවිතාන මහතාම සොයා ගෙන ඇත. මේ අනුව මහාවංසයෙහි සඳහන් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීම හා ධර්ම ප‍්‍රචාරය පිළිබඳ ශිලා ලේඛන සාක්ෂියක් ලෙසින් (මිහින්තලයෙන් ලැබෙන ශිලා ලිපියට අමතරව) මෙය ඉතා වැදගත් සේ පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.

මේ රජගල පුද බිමෙහි මේ කාලයේ දීම ලියන ලද ගුහා ලිපි 22 ක් ද, පර්වත ලිපි හතරක් ද, පුවරු ලිපියක් ද ලැබී ඇති බව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ඔහුගේ 1961 - 62 පුරා විද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.“කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත්, අවසානයේ කන්ද පාමුල තැන්නටත් පැමිණේ. විවිධ හැඩ තල හා ප‍්‍රමාණවල ගොඩනැගිලි මේ බෑවුමේ දක්නට ඇත. මේ ගොඩනැගිලිවලට ඇතුල්වන තැන්වල දෙපස වාම් කොරවක් ගල් ද, මිනිස් වෙස් ගත් නාග රූප සහිත දොරටුපාල ගල් පුවරු ද ඇත.සඳකඩ පහන් කීපයක් මෙහි වැළලී තිබෙන්නට පුළුවන. මේ තැන්න හරහා යන ඇළ පායන කාලයට ජලය හි‍ඳෙයි. එසේ වුවද මේ විශාල ආරාමයේ විසූවන්ට අවශ්‍ය ජල පහසුව ලැබී ඇත්තේ මෙයිනි.ඇල පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති ගල් පාත්තර දෙක දක්වා කාණු බේරූ ගල් ලෑලි අතුරා ඇත. ගල් පාත්තර දෙකට ඉහළින් පුරාණ කාලයේ වහළයක් තිබී ඇත. මේ වහලයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත.මෙහි කැණීම් කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් පෙනුණේ කොරවක් ගල් දෙකේ මුදුන් පමණි. මෙය කොරවක් ගල් හා පඩි හතරකින් ද මනහර සඳකඩ පහණකින් ද යුක්තය. සඳකඩ පහණ මධ්‍යයෙහි නෙළුම් මලකින් අඩකි. ඉන් ඔබ්බෙහි පළා පෙති රටා සහිත රවුමකි. මෙහි නා රජ රුව පුන් කළස දරා සිටින්නේ අන් තැන්වල මෙන් තනි අතින්් නොව දෑතිනි.අම්පාර දිස්ති‍්‍රක්කයේ දිවුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රාජගල පුදබිම සහිත වූ රජගල කඳු වැටිය පිහිටියේ ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගලතැන්න ජනාවාසයට බස්නාහිර දෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි ස්තූපයක නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳව සඳහන් කරන විට මිහින්තලේ ඇති මිහිඳු ගුහාව වැනි ගුහාවක් රජගල ද දක්නට ලැබේ. මේ පුද බිමෙන් ලැබෙන සෙල් ලිපි පහක පමණ මහා සංඝයාට පුදන ලද ලෙන් පිළිබඳ සී. ඩබ්ලිව්. නිකුලස් මහතා මෙසේ සඳහන් කර ඇත. “සද්ධාතිස්ස රජුගේ පුතුන් දෙදෙනා ද බිසෝවරුන් විසින් ද මේ ලෙන්වලින් සමහරක් පූජා කළ බව සෙල් ලිපි පහක සඳහන් වේ.” මේ කරුණු අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණේ මධ්‍යස්ථාන වූ තිස්සමහාරාමය, සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල ද පැරණි බෞද්ධ අනන්‍යතාව ඉතා පැහැදිලි ලෙසින් ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රදේශයක් බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.
කර්තෘ: Agra Sanjeewani

රබර් සෝඩා වෙයි


ඉංගිරිසි ජාතික ජෝශප් පී‍්‍රස්ට්ලි රසායන විද්‍යා ඉතිහාසයෙහි අමරණීයත්වයට පත් වූයේ 1774 ඔක්සිජන් සොයා ගැනීම නිසා ය. ඒ කීර්තිමත් සොයා ගැනීම නිසා ඔහු සෝඩා වතුර සොයා ගත් බව අද ලෝකයට අමතකව ගොස් තිබේ. බුබුළු දමන මෘදු දියරයක් ලෙස අද ලොව පුරා බීමක් ලෙස භාවිත කෙරේ. එහෙත් ඔහු සොයා ගත් සෝඩා වතුර එදා ඔහු නම් කළේ ‘රබර්’ කියා ය. එදා ඔහු එය රබර් කියා නම් කළේ පැන්සල් ඉරි මැකීමට ඒවා යොදා ගත හැකි නිසා ය.

මීට අවුරුදු පන්සීයකට පමණ පෙර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ලියූ සටහන්වල ඇති කරුණුවල සත්‍යතාව මිනිසාට අවබෝධ වුයේ බොහෝ කලකට පසුව ය. පොසිල ගැන, රුධිර සංසරණය ගැන, පොළොව විශ්වයේ හරි මැද නො වන බව, වස්තු ඉහළට බිමට පතිත වීම ගැන, මිනිස් සිරුර ගැන ආදී වශයෙන් ලියා තැබූ අදහස්වල සත්‍යතාව අද තහවුරු වී තිබේ.  

රජ වාසලේ කවටයා - අන්දරේ

අන්දරේ ශී‍්‍ර ලංකාවේ රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ (රාජ්‍ය කාලය: 1779-1797) රජවාසල කවටයාය. උස් මිටිකම්, තරාතිරම් නො බලා හැමදෙනකුට ම කවටකමින් සංග‍්‍රහ කිරීමට සමත්කම් දැක්වූ සිංහලයෙකි. මාතර දික්වැල්ලේ උපන් අයකු ලෙස සැලකෙන අන්දරේ මිය ගිය තැන පසු කාලයක ඉදි කළ ස්මාරකයක් ද තිබේ. අන්දරේ උපතින් ලත් කවීත්වයක් හා මුඛරිකමක් ඇත්තෙකි. ඒ කාලේ හැටියට සෑහෙන උගත්කමක් ඇති ව සිටි අන්දරේගේ පියා ඔහුට උගන්වන්නට උත්සහ කළ ද ඉන් පලක් නො වීය. එහෙත් ඔහු උපහාසයෙන් හා බුද්ධියෙන් උගතුන් පවා පරදවනසුලූ විය. ඔහු හිටිවන ම කළ කවි නිර්මාණ ද උගතකුට පවා කළ නො හැකි තරම් ප‍්‍රශස්ථ විය. පොතපත ඉගෙනීම නො කළ අන්දරේ මෝඩයෙකැ යි සිතා නොයෙක්  අයුරින් ඔහුට විහිළු කර විනෝද වන්නට තැත් කළ අයට ඔහු පෙරළා දුන් පිළිතුරුවල ගැබ් වූ උපහාසය කෙතරම් සියුම් වීද යත් ඉන් පහර කෑ අයටත් නො සිතූ පරිදි රසයක් ලබා දුන්නේ ය. ඒ නිසා ම ඔහු එකල රටපුරා බෙහෙවින් ජනපි‍්‍රය පුද්ගලයක් විය. කවටකම් කිරීමට ඔහු සතු දස්කම් පිළිබඳ කතා ඇසූ රජු ඔහු ගෙන්වා රජවාසල කවටයා ලෙස පත් කර ගත්තේය. 
 
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය: 

විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය. 
    දාර දෙකක් එක පිට එක කර      තැනුවා
    පාර තිහක් තැළුවට බියකුත්        නැතුවා
    කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
    තෝරාපන් ඊයේ මඟ දී              දුටුවා

අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
    දාර දෙකක් එක ළඟ එක        ගැවසීය
    පාර තිහක් තැලූවට බියකුත්       නැතිය
    වට පිට යන කලට කනු සතරින්     යාය
    මට දැනෙනා ලෙසින් මහ රජ     ඉබ්බාය
 
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)

 අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින්බලන්න පුලුවන්.

ඇන්ටිකීතර යාන්ත්‍රණය

වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.


ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computerලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.

මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය.  ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය. 

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය. 

හාවෙකු පසුපස ගොස් පාසල් ගිය හෙන්රි


නූගත් දරුවකු වූ දහසය හැවිරිදි ජෝශප් හෙන්රි (1797-1878) 1813 නිවාඩු කාලයේ දී අසල ඇල්බනි නගරයේ පල්ලිය පිහිටි බිමේ සෙල්ලම් කරමින් සිටියේය. ඔහු හදිසියේ ම තමා ඉදිරියේ මතු වූ හාවකු පසුපස දුවන්නට විය. හාවා පල්ලිය තුළට දිව ගියේය. එහි අල්ලා තිබූ ලෑලි කීපයක් අඩු බව දැක ඔහු ඊළඟට කළේ ඒවා සොයා පල්ලිය පුරා පරීක්ෂා කිරීමය. එසේ පරීක්ෂා කරද්දී එහි පොත් රාක්කයක තිබූ පොතක් ඔහුගේ නෙත් ඇද ගත්තේය. එහි නම ‘ලෙක්චර්ස් ඔන් එක්ස්පෙරිමන්ටල් ෆිලෝසොෆි’ය. එහි අරුත ‘ප‍්‍රායෝගික දර්ශනවාදය පිළිබඳ දේශන’ යන්නයි. උඩින් පල්ලෙන් එය පෙරළා බැලූ ඔහුට එය සම්පූර්ණයෙන් ම කියවන්නට සිතක් පහළ විය. ඒ ගැන පැහැදුණු පල්ලියේ පූජකවරයා ඒ පොත හෙන්රිට පරිත්‍යාග කළේය. ඒ පොත කියවීමෙන් පසු ඔහුට ඉගෙනීම සඳහා තවදුරටත් පාසල් යන්නට සිත් විය. අවසානයේ දී ඔහු දහනව වන සියවසේ ඇමරිකාවේ විසූ විශිෂ්ටතම විද්‍යාඥයා බවට පත් විය. ඔහු ඇමරිකන් සිවිල් යුද සමයේ විද්‍යාව පිළිබඳ ජාතික ප‍්‍රබෝධයක් ඇති කිරීමට පුරෝගාමී වූයේය. වානිජ කටයුතු සඳහා යොදාගත් විදුලි පණිවුඩ ක‍්‍රමයට මග පෑ¥ ප‍්‍රථම විද්යුත් චුම්බක ටෙලිග‍්‍රාෆය ඔහුගේ නිපැයුමකි. කාලගුණ විද්‍යා නිරීක්ෂණ වාර්තා ක‍්‍රමයද ඔහු විසින් ආරම්භ කරන ලද්දකි. ඇමරිකාවේ අලූතින් පිහිටුවන ලද ස්මිත්සෝනියන් ආයතනයේ ප‍්‍රථම ලේකම්වරයා හා අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුයි. ඔහුගේ අවමඟුලට ඇමරිකානු ජනාධිපති රදර්ෆර්ඞ් බී. හේස් ද සහභාගි විය.

Wednesday, April 20, 2016

ලොව ප්‍රථම ඉතිහාසඥයා!

ලොව ප‍්‍රථම ඉතිහාසඥයා! ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි!
========================

ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය.

ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ කවුරුද ?

පිරමීඩ හැර අනෙක් පුදුම සියල්ල නටඹුන් වී ගියත් ඒ ගැන එක සාක්ෂියක් ඉතිරි වී තිබේ. ඒ මෙම පුදුම ගැනත් ඒවායේ සවිස්තරාත්මක විස්තර හා ඒවායේ පිහිටීම් ගැනත් ලියා ඇති ලේඛනයන්ය. මේ විස්තර ලියා තැබුවේ පුද්ගලයා සුවිශේෂී කෙනෙකි. ලොව ප‍්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ ඔහුයි. ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි. ඔහු ගී‍්‍රක ජාතික හෙරඩෝටස්.

‘ඉතිහාසයේ පියා’ ලෙස සැළකෙන හෙරඩෝටස් උපන්නේ කි‍්‍ර.පූ. 484 දීය. මියගියේ කි‍්‍ර.පූ. 430 දී. උපන් ස්ථානය හැලිකොනේසස්. ඈත අතීතයේ හැලිකොනේසස් ලෙස හැඳින්වුණේ වර්තමානයේ තුර්කියේ බ්‍රෝඩම් නුවරයි. එදා හැලිකොනේසස් නුවර අයත් වුණේ ‘සුලූ ආසියාවට’.

හෙරඩෝටස් සංචාරකයෙක්. දක්ෂ ලේඛකයෙක්. එසේම සවිස්තරාත්මක වාර්තාකරුවෙක්. හෙරඩෝටස් තර්කානුකූලව, ක‍්‍රමාණුකූලව, ඓතිහාසිතක තොරතුරු සවිස්තරාත්මකව සටහන් කර තැබූ නිසයි අද ඔහු ලොව පිළිගැනීමකට ලක්වී සිටින්නේ. ඔහු මිත්‍යා කතා මොනවාද සත්‍යය කුමක්ද හොඳින් තේරුම් බේරුම් කර ගනිමින් නිවැරදි මූලාශ‍්‍ර මත අනුව ඉතිහාස

තොරතුරු වාර්තා කර තිබේ.


හෙරඩොටස් විසින් ලේඛනගත කරන ලද ඊජිප්තුව පිලිබඳ විස්තරයක්.

කුඩාකාලයේ සිටම සාහිත්‍යයට යොමු වීම නිසා ඔහු සාහිත්‍යකරණයේ නියැලූණේය. කුඩා කළ සිට නිතරම වාගේ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරට යන්න එන්න වූ හෙරඩෝටස් බටහිර දෙසින් කළු මුහුද දක්වා සංචාරයේ යෙදුණේය. එමෙන්ම දකුණුදිග ඉතාලියේ මෙන්ම ඊජිප්තුවේද ආසියානු නගර වන ටයිර්, බැබිලෝන්, එක්බටානා, නිනේව් සහ සූසා නගරවලද සංචාරය කළේය.

හෙරඩෝටස් ඉතිහාසය ලේඛනගත කළේ කතාන්දර කියනා විලාසයෙනි. ඔහු ඔහුගේ විස්තර අලංකාරව හා සිත් ඇදගන්නා අයුරින් ලියා තැබීමට උපමාරූපක යොදා ගෙන තිබේ. ඔහු උදාහරණ ලෙස යොදා ගත්තේ ඔහු ජීවත් වූ සමාජයේ තොරතුරුය. සිදුවීම්ය. මේ නිසා අතීතයේ සමාජ විස්තර පවා අද අපට දැනගැනීමේ වාසනාව උදාවී තිබේ.

     කර්තෘ: තරංගිකා රාජපක්ෂ 
න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.
ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.

විදුලි පරිපථවල ආරක්ෂක ක්‍රම

 

                                                       විදුලි පරිපථයක් සඳහා බොහෝ ආරක්ෂක ක්‍රම  භාවිත කළ හැකි වුවත් ප්‍රධාන වශයෙන් විදුලි පරිපථයක ආරක්ෂාව සැලසිය යුතු ආකාර 2කකි.
   

ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම.විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කලයුතුවිම.

ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම

   
             එනම් Short Circuit වීම් වලින් ගිනි පුලිඟු හටගන්නා අතර ගිනි ගැනීමට පහසු මාධ්‍යක් ඒ අසල තිබුණහොත් ගින්නක් ඇතිවිය හැකියි.එම නිසා කෙටි පරිපථ වීම්වලින් ආරක්ෂා (Short Circuit Protection) කළ යුතු වෙනවා,මේ සඳහා පරිපථ වලට විලායක යෙදීම සිදුකරනවා.නිවාස විදුලි පරිපථ වලදී මෙම සේවාව විලායක පුවරුව ( D Board ) මගින් සිදුකරනු ලබනවා.කෙටි පරිපථ වීමක් හෝ වෙනත් මොන යම් කාරණයක් නිසා හෝ පරිපථයේ වැඩි ධාරාවක් ගලා යන විටදී මෙම විලායක මගින් පරිපථය විසන්ධි කෙරේ.

විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
         
  එනම් විදුලි උපකරණ පරිහරණය කරන්නා විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුය.මේ සඳහා විදුලි පරිපතවලට මිහිකාන්දු පැන්නුම් වහරු භාවිත කෙරෙනවා.එවිට විදුලි උපකරණයක හෝ යම් පරිපථයක විදුලි කාන්දුවක් සිදු වුවහොත් එයට සංවේදී වන පැන්නුම් වහුරුව ක්ෂණිකව සැපයුම විසන්ධි කරයි.එමගින් උපකරණය භාවිත කරන කෙනාට විදුලි සැර වැදීමෙන් වෙන හානිය වළකාලයි.

දැන් අපි මිහිකාන්දු පැන්නුම් වහුරු ( Earth Leakage Trip Switch ) ගැන බලමු,

                 නිවාස විදුලි ඉදිකිරීම් සඳහා භාවිත වන ප්‍රධාන මිහිකාන්දු පැන්නුම් වහරු 2කි,

වෝල්ටීයතාවය අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Voltage Operated Trip Switch)ධාරාව අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Current Operated Trip Switch)
ශේෂ ධාරා පරිපථ බිඳීනය (Residual Current Circuit Breaker - RCCB)      මෙම මිහිකාන්දු පැන්නුම් වහරු දෙවර්ගයේම ක්‍රියාකාරිත්වය වන්නේ පරිපථයේ යම් විදුලි කාන්දු වීමක් සිදු වුවහොත් වහා සැපයුම විසන්ධි කර උපකරණ භාවිතා කරන්නා ආරක්ෂා කිරීමයි. Trip Switch යක් මිලදී ගැනීමේදී අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියනවා.ඒවා ගැන කිව්වොත්,

Trip Switch ය හරහා ලබාගත හැකි උපරිම ධාරාව (Rated Current)Trip Switch ය ක්‍රියා විරහිත වන කාන්දු ධාරාව හෙවත් සංවේදී කාන්දු ධාරාව (Tripping Current)Trip Switch ය හරහා ලබාගත හැකි සැපයුමේ වෝල්ටීයතාවය (Rated Voltage) Trip Switch ; 250V , 30A , 30mA ලෙස සටහන් කර ඇත්නම් ඉන් අදහස් වන්නේ Trip Switchය හරහා ලබාගත හැකි සැපයුමේ උපරිම වෝල්ටීයතාවය 250V බවත්, Trip Switch ය තුලින් ගෙන යා හැකි උපරිම ධාරාව 30A බවත්, පරිපථයේ 30mA කාන්දුවක් සිදු වන විට Trip Switch ය ක්‍රියා විරහිත වන බවත්ය.



           සෑමවිටම නිවාස සඳහා භාවිත කරනු ලබන්නේ 30mA ක කාන්දු ධාරාවකදී ක්‍රියා විරහිත වන Trip Switch ය.එවිට යම් උපකරණයක හෝ පරිපථයේ 30mA ක කාන්දුවක් සිදුවන විටදී Trip Switch ය මගින් සැපයුම විසන්ධි කරන බැවින් කාන්දුව මනුෂ්‍ය ශරිරරයක් හරහා සිදු වුවද එය 30mA වන විට සැපයුම විසන්ධි වීමෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකර ධාරාව වන 50mA ක් ශරීරය තුලින් ගලා යාමට පෙර සැපයුම විසන්ධි කිරීමෙන් මනුෂ්‍යයාට සිදුවන හානිය වලක්වනවා.එහෙත් කර්මාන්තශාලා විදුලි පරිපතවලට භාවිත කරනු ලබන්නේ වැඩි කාන්දු ධාරාවකට සංවේදී වන Trip Switch ය.මෙයට හේතුව කර්මාන්තශාලාවල විදුලි යන්ත්‍රෝපකරණ රාශියක් භාවිත කරන අතර කාලයක් ගතවීමේදී මෙම යන්ත්‍ර වල විදුලි පරිපතවලින් කුඩා කාන්දු හට ගනී.එවිට යන්ත්‍ර කිහිපයකින් කාන්දු හටගනිමේදී එය යම් තරමක කාන්දු ධාරාවක් බවට පත්වන අතර අඩු කාන්දු ධාරාවක් සහිත Trip Switch යක් යොදා තිබුණහොත් මේ තත්වය මත සැපයුම විසන්ධි වේ.නමුත් ප්‍රයෝගිකව යන්ත්‍ර වලින් සිදුවන මෙම සුළු කාන්දු මගින් කිසිවෙකුටත් හානියක් සිදු වෙන්නේ නෑ.නමුත් සපැයුම විසන්ධි වීමකට ලක් වුවහොත් මෙය ප්‍රයෝගික අපහසුතාවයක් ඇති වෙනවා,එබැවින් මෙම තත්වය සැලකිල්ලට ගෙන කර්මාන්තශාලා සඳහා 100mA ක කාන්දුවකට සංවේදී වන Trip Switch භාවිත කෙරෙනවා.

           එමෙන්ම 10mA , 15mA වැනි කුඩා කාන්දු සඳහා සංවේදී වන Trip Switch ද වෙළඳ පොලේ දැකිය හැකිය.මෙවන් කුඩා කාන්දු වලට සංවේදී Trip Switch භාවිත කරනු ලබන්නේ සත්ත්ව ගොවිපළවල විදුලි පරිපථ සඳහාය.සතුන් කොටුකර ඇති කුඩුවල නොයෙකුත් විදුලි උපාංග සවි වන අතර ඉන් සුළු කාන්දුවක් ඇති වුවද එමගින් සතුන් ජිවිත හානියට පත් වියහැකියි.එබැවින් 10mA , 15mA වැනි කුඩා ධාරාවන්ට සංවේදී Trip Switch එම පරිපථ සඳහා යොදා ගනියි.
             
      Trip Switch යක් ක්‍රියා විරහිත නොවී දිගු කාලයක් තිබියදී එහි යාන්ත්‍රික ලිවර පද්ධතියේ යම් හිරවීමක් ඇතිවිය හැකිය.එබැවින් කාන්දුවකට OFF වීම ප්‍රමාද වීමෙන් හෝ OFF නොවීමත් වැනි තත්වයක් ඇති විය හැක.එබැවින් මසකට, දෙකකට වරක් හෝ Trip Switch යේ Test Button එක ඔබා Trip Switch ය නිවැරදිව සුමටව ක්‍රියා විරහිත වීම සිදුවන්නේ දැයි පරික්ෂා කළ හැකිය.

ඉතින් ඔබත් විදුලියත් සමග වැඩකිරීමේදී පරෙස්සම්වෙන්න.පොඩි හෝ වැරද්දකින් ලොකු දෙයක් වෙන්න පුළුවන්.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

ඔබ දන්නවාද

අපි නොදැන නොහිත කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළය ට හානි වෙනවා කියල දන්නවද..මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10 ක් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල.
1. උදේ අහාර නොගැනීම
ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ අහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.
2. වැඩිපුර අහාර ගැනීම
ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕන නැහැ කියනවනේ.අන්න ඒ වගේ අහාර නොගෙනම සිටීම විතරක් නෙවේ, වැඩිපුර අහාර ගැනීමත් හොඳ නැහැ. මේ නිසා මොළයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා.
3. දුම් පානය
මේ නිසා මොළයට බහු විද හානි සිදු වෙන්න පුළුවන්.තමන් දුම් පානය නොකලත් වෙනත් කෙනෙක් දුම් පානය කරද්දී ඒ දුම අග්‍රාහනය කිරීම (අක්‍රීය දුම් පානය) නිසාත් මෙය සිද්ද වෙන්න පුළුවන්.ඒ විතරක් නෙවේ මදුරු දඟර දුමත් සිගරට් 52 ක දුම තරම් ප්‍රබලයි කියල සොයාගෙන තියෙනවා.
4. සීනි සහිත අහාර වැඩිපුර ගැනීම
අපේ දුල පුතාල පැණි රස කන්න හුඟක් කැමතියිනේ.. හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා.මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.
5. වායු දුෂණය
මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු වෙනවා.මොළය තමයි ශරීරයට ලැබෙන ඔක්සිජන් වලින් 20%ක්ම භාවිතා කරන්නේ.මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් එයට හානි සිදු වෙනවා.
6.අඩු නින්ද
මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්.පාඩම් කරන දේ මතක තියා ගන්න, විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා.
7. නින්දේදී හිස ආවරණය කර ගැනීම
ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති.මෙය ඉතාමත් නරකයි.මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා.එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා.
8. අසනීපයෙන් සිටින විට මොළය වෙහෙස කිරීම
අසනීප අවස්ථා වල පාඩම් කිරීම,මොලය වෙහෙසවා වැඩ කිරීම
නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.
9. ප්‍රබෝධාමත් සිතිවිලි අඩු වීම
හොඳ සිතිවිලි මොළය පුහුණු කරවන්න හොඳම ක්‍රමයයි.නිතරම කල කෙරුණු ඍනාත්මක සිතිවිලි වලින් සිටීම නිසා මොළයේ ක්‍රියාශීලිත්වය අඩුවෙනවා
10. අඩුවෙන් සිතීම
යන්ත්‍රයක් වුනත් හොඳින් වැඩ කරන්නේ එයින් වැඩ ගන්න කොටයි.මොළයත් ඒ වගේ.
නිතරම තමන් ඉගෙන ගන්න දේ ගැන අහන දකින දේ ගැන ප්‍රශ්න කරමින් බුද්ධිමය සංවාද ඇති කර නොගැනීම මොළයේ කාර්යක්‍ෂම බව අඩු කරනවා.
                  අන්තර්ජාලයෙනි..
කර්තෘ : sujie madhumalee

ඓතිහාසික නිලගම රජමහා විහාරය



මාතලේ දිස්ත්‍රික් මායිමේ පිහිටි නිලගම රජමහා විහාරස්ථානය සහ ඒ ආශි‍්‍රත භූමිභාගය ඓතිහාසික නටඹුන්වලින් ගහනය. වළගම්බා රජු සැඟවී සිට, පසුව එම සැඟව සිටි ස්ථානයේ මේ විහාරය කරවන ලදැයි සැලකේ.

ගල්ලෙනක් ආශි‍්‍රතව පිහිටි නිලගම රජ මහා විහාරය විවිධ යුගයන්හි දී ප්‍රාදේශීය පාලකයන් විසින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. මෙම භූමිය වටා ඇති කඳුගැට මුදුනෙහි චෛත්‍ය සතරක් තිබූ බවට සැලකිය හැකි නටබුන්ද දක්නට තිබේ. අනුරාධපුර යුගයේ මුල්භාගයට අයත්යැයි සැලකෙන සෙල්ලිපියක් මෙම පර්වතයෙහි නිරිත දෙසින් දැක ගත හැකිය. එමෙන්ම මෙහි ගල්කුලක් මත තවත් සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ අක්ෂර මැකීයමින් පවතී. මෙම විහාර භූ®මියෙහි චෛත්‍යයක නටබුන්ද දක්නට ඇත.

මෙම විහාරස්ථානයේ දැනට විද්‍යමානව ඇති සියලු ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන්ට අයත් බව නිගමනය කළ හැකිය. නිලගම චිත්‍ර ශිල්පී පරම්පරාවෙහි ශිල්පීන් විසින් මෙම විහාරස්ථානයේ චිත්‍ර නිර්මාණය කරන ලද බව පැරැණි ලේඛනයන්හිද සඳහන්වේ.

මෙම විහාරය පිහිටි ලෙන වළගම්බා රජ අවධියේ සිට විහාරස්ථානයක්ව තිබුණද පසුව විවිධ හේතු නිසා විනාශ වී මහනුවර යුගයේ නැවතත් පිළිසකර කර ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ භූමිය පිළිබඳ වැඩිදුර ගවේෂණයක් සිදුකළහොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බව විද්වතුන්ගේ මතයයි.

නිලගම රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ධූරයේ කටයුතු කරන්නේ මඩහපොළ ගුණරතන හිමියන්ය.වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මේ විහාරස්ථානයේ පැරැණි චිත්‍ර හා ප්‍රතිමාද චෛත්‍යද වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව සංරක්ෂණය කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ භූමිය කෙරෙහි මෙයට වඩා වැඩියෙන් යොමුවන්නේ නම් මැනැවැ’යි මඩහපොළ ගුණරතන හිමියෝ පවසති. මෙබඳු පින්බිම් සුරැකගෙන අනාගත පරපුරට දායාද කිරිම අප කාගේත් යුතුකමක් වන්නේය.
මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇතී ස්ථාන ගැන කිසිවෙකුත් නොදනී ..එයට හේතුව මා නොදනී..නමුත් කිය යුතු දෙයක් ඇත ...අද ලංකාවේ අය පාරවල් අයින්වල ඇති සිද්ධස්නාන වැදපුදා ගනීතී නමුත් රටේ අනාගතයටද මේවා මෙලෙසටම වල් වැදෙනු ඇත....

ස්තූතී
උපුටා ගැනිමක් සහිතය..

කර්තෘ: නිල්මිණි වීරසිංහ

හිස තෙල් ගෑමේ මංගල්‍යය


නිරෝගීී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ තෙල් හා නානු සකස් කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යමත් සාපත්‍යයට මුළුමනින්ම උර දෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය.
මුළු ගමටම තෙල් හා නානු සකස් කොට බෙදා දෙනු ලබන්නේ ද පන්සලයි. මෙය ඒ සඳහා කේන්ද්‍රස්ථානයයි. උදයේ ම පන්සලට ගොස් තෙල් හා නානු ගෙන ඒම ඉපැරණි සිරිතයි. මෙයට දශක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදාය රටපුරා හැම පන්සලකින්ම සිදු කෙරුණ ද, අද එය ගමේ පන්සලෙන් දුරස්ව ගොස් නිවෙස්වලට පමණක් සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක හාමුදුරුවන් මේ පැරණි සිිරිතට මූලිකත්වය දෙමින් හිසට තෙල් හා නානු සකස් කිරීම ගැන ද අප පැසසිය යුතුය
පැරැණි පුස්කොළ පොතක වට්ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ -
කලාඳුරු අල, කංකුනප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳ ගනු ලැබේ. ඉන්පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගනු ලැබේ. එයින් ලැබෙන දියරය නානු ලෙසද භාවිතා කෙරේ.හිස තෙල් ගාන උළෙලේදී මේ මහෞෂධ තෙල් හිසට ගල්වා ගන්නේ ද නිරෝගී වැඩිහිටියකු ලවාය. එසේ නැත්නම් ගෙදර බුදුන් ලෙස සලකන දෙගුරුන් ලවාය. එසේත් නැත්නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නැත්නම් නායක හාමුදුරුවන් ලවාය.
සිවු දිසාවේ වෙසෙන ඥතීන් නිවෙස්‌වලට පැමිණෙන්නේ ද හිසතෙල් ගාන අවුරුද්දටය. බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමැඳ හිසට තෙල් ගාවා ගැනීම අද බොහෝ පළාත්වල සිදුවන අනගි චාරිත්‍රයකි. හිසට තෙල් ගා ගෙන ස්‌නානය කොට අලුත් වස්‌ත්‍රවලින් සැරසී එකට හිඳ ආහාර අනුභවය ද හිස තෙල් ගාන දිනයේ සිදුවේ. හැම මුහුණකම සතුට පිරි සෞභාග්‍ය පතා ඊළඟ වසර එළැඹෙන තුරු ජීවිතයට කිසිදු උපද්‍රවයක්‌ ව්‍යසනයක්‌ නොමැතිව ජීවත්වීමට ප්‍රාර්ථනා කිරීම මෙහි තේමාවයි. නිමිත්තයි.
හිසතෙල් ගෑම සඳහා යොදා ගන්නා තෙල් වර්ග -
තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට තෙල සකසනු ලැබේ. මේ තෙල් හා නානු හිසට ගා නෑම සිදු කිරීම හිසතෙල් ගෑමේ උළෙලේ සමාප්තියයි. මේ සඳහා උපයෝගී කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාඛ සාරයයි. සොබා දහමෙන් මිනිසාට ලැබී ඇති මේ අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යයක් ද ? එයින් විදහා පාන්නේ ජීවක ගුණයයි. මිනිසාගේ හිසේ රෝග නිවාරණයට හිසේ තෙල් ගෑම හේතු කාරක වේ. හිසේ නිතර වේදනාව, අව්වේ යාම අගුණවීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට හිසේ තෙල් ගෑම අතිශය ගුණදායක වේ. බටහිර වෙදකමේ ද නැති මේ මහාසාර හිස ගැල්වීමෙන් අපට දැනෙන්නේ අමුතු සිසිලකි. සුවයකි.
කොහාගේ සුමිහිරි නාදයත්, එරබදු මල්වල පිපීමත් සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමක්ය. කාලය අනුව ඒවා ද පිපී ඇත්තේ වසරක් ගෙවී තවත් වසරක් එළැඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක් වශයෙනි. සතුට සියල්ලන් අතර බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදිය තුරන් කර සාමුහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි. නිරෝගී ජීවිතයක් උදෙසා නිරෝගීමත් වැඩිහිටියෙකු ලවා නැකතට හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය. වත්මන් ලෝකයේ තිබෙන විවිධ උත්සව අතර සිංහලයන් හා හින්දු භක්තිකයන් විසින් සමඟි දමින් බැඳීි පැවැත්විය හැකි එකම උත්සවය මේ බක්මහ උළෙලයි.
කර්තෘ : Nilakshi Bandara

Tuesday, April 19, 2016

2030 දී අයිස් යුගයක්

#Mini_Ice_Age_in_2030_2030දී_අයිස්_යුගයක්!

චක්‍රීයව කලින් කලට සිදුවන සූර්ය ක්‍රියාකාරිතවයේ අඩුවීම නිසා තව වසර 15කින් එනම් 2030 වසර වනවිට පෘථිවිය කුඩා අයිස් යුගයක් වෙත යොමුවන බව සූර්ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන විද්‍යාඥයින් පවසනවා. මීට පෙර මෙවැනි කුඩා අයිස් යුගයක් මීට වසර 300කට පෙර එනම් 1645දී ආරම්භවූ අතර එය වසර 30ක් එනම් 1715 තෙක් පැවතුනා.

සූර්ය ක්‍රියාකාරිත්වය පිලිබඳව අනාවැකි පලකල හැකි ගණිතමය මොඩල (mathematical models) ආධාරයෙන් විද්‍යාඥයින් මෙම අනාවැකිය පලකරන අතර මෙවැනි මොඩලවල නිරවද්‍යතාවය ඉතා ඉහල තත්වයකට ගැනීමට නූතන පර්යේෂණ හා සූර්යා නිරික්ශණය කරන චන්ද්‍රිකා වලින් ලැබෙන දත්ත ආධාරයෙන් හැකිවී තිබෙනවා.

දැනටමත් මෙම ක්‍රියාවලිය ආරම්භවී ඇති බව පවසන විද්‍යාඥයින් හිරුගෙන් නිකුත්වන තාපය ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවත්, 2030 වනවිට හිරුගේ ක්‍රියාකාරිත්වය 40%කින් පමණ අඩුවෙනු ඇති බවත් පවසනවා. වසර 10-20ත් අතර කාලයක් මෙම අවම ක්‍රියාකාරිත්වයෙන් පැවතී නැවතත් ක්‍රමයෙන් හිරු උණුසුම්වීමට පටන්ගනු ඇති.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

අඩි 31 දිග දැවැන්ත කිඹුලෙක් හමුවෙයි

මෙතෙක් පෘථවියෙන් වාර්තාවූ විශාලතම කිඹුල් පොසිලය ටියුනීසියානු කාන්තාරයෙන් සොයාගෙන තිබෙනවා. නැෂනල්් ජියෝග‍්‍රෆික් වෙබ් අඩවිය වාර්තා කළේ මෙම කිඹුල් පොසිලය දිගින් අඩි 31ක් බවයි. වසර මිලියන 120 ක් පැරණි මෙම පොසිලය බස් රථයකටත් වඩා වැඩි විශාල බවද එම වාර්තාවල දැක්වෙනවා. ඉතාලියේ බොලොන්ගා සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම කැනීම සිදුකර තිබුණා. එහි විශාලත්වය අනුව හිස කොටස පමණක් පාදා ගැනීමට පැය 48 ක් ගතවී තිබෙනවා.

මෙම කිඹුලා මිරිදිය කිඹුලකු ලෙස හදුනාගෙන ඇති අතර එම සත්ත්වයාගේ බර රාත්තල් 17 ,500 ක් වන්නට ඇති බවයි ගණන් බලා ඇත්තේ. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම කිඹුලා අඩි 40 ක් පමණ වැඩීමේ හැකියාවක් පැවති සත්ත්වයකු බවද හෙලිකරගෙන තිබෙනවා.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

සිලිකා ජෙල් පැකට්ටුවේ ප්‍රයෝජන

සිලිකන් ජෙල් පැකට් වලින් ගතහැකි අපූරු ප්‍රයෝජන
ඔබ සපත්තු බෑග් වැනිදේ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද? ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබ විසිකිරීමට පෙර දෙවරක් හිතා බලනු ඇති. ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.
තෙමුනු ජංගම දුරකථන වියලා ගැනීමට
ජංගම දුරකථනය ජලයෙන් තෙමුනා නම් එහි බැටරිය, මෙමරි කාඩය ඉවත්කර සිලිකා ජෙල් පැකට් කීපයක් ඇති භාජනයක රැයක් තබන්න. උදෑසන වන විට සියළුම ජලවාෂ්ප උරාගෙන ජංගම දුරකථනය වියලිව තිබේවි.
රැවුල කපන රේසර් තල ජීව කාලය දිගු කිරීම
රේසර් කියන්නේ භාවිතා කිරීමේදී නිතරම ජලයෙන් සෝදනු ලබන්නක්. මේ නිසාවෙන් තලය ඉක්මනට මල කන්න පුළුවන්. නමුත් මේ සිලිකා ජෙල් සහිත පැකට් කීපයක් ඔබේ රේසර් දැමූ පෙට්ටියට ජෙලි පැකට් කීපයක් දැමීම මගින් ජල වාෂ්ප උරාගෙන තලය මල කෑමෙන් වලක්වා ගෙන කැපුම් හැකියාව කල් පවත්වා ගන්න පුළුවන්.
. මීදුම බැදුනු වාහන විදුරු
වාහනයේ ඩෑෂ් බෝඩ් එක මත සිලිකා පැකට් කීපයක් තැබීමෙන් විදුරුවෙහි මීදුම් බැදීම අවම කර ගන්න පුළුවන්.
. ඔබේ ඇදුම් බෑග වියලිව තබන්න.
ඔබේ ඇදුම් බෑගය වියලිව තබන්නට එයට ජෙල් පැකට් කීපයක් දමා තැබීමෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්.
කර්තෘ : තුෂාරි ප්‍රියන්ගා

යෝධ පිටසක්වල යානාව



ග්‍රහලෝකයක් තරම් විශාල අභ්‍යවකාශ යානා ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දැක ඇතිවාට සැකයක් නැහැ. නමුත් 2015 වසරේදී සත්‍ය වශයෙන්ම එවැන්නක් සොයාගත් බවට ආරංචි පැතිර ගිය. එය සිදුවුනේ  KIC 8462852 නමැති තාරකාවෙන් නිකුත්වන ආලෝක තත්වයේ සාමාන්‍ය වෙනස්වීමක් නිර්ක්ෂණය වීමත් සමගයි.  මෙලෙස තරුවක ආලෝකය නිකුත් වීම වෙනස් වන්නේ එයවටා ග්‍රහලෝකයක් ගමන් ගන්නේ නම් හෝ එය අසන්නේයෙන් වෙනත් තරුවක් ගමන්ගන්නේ නම් යන කරණා දෙක නිසාවෙනි. නමුත් මෙම කාරනා දෙකම නොමැතිව ඉහත තරුවේ ආලෝකයේ වෙනස්වීම නිර්ක්ෂණය වීම පුදුමයට කරුණක් වුනා.

බොහෝ දෙනා විශ්වාශ කලේ එය පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කරන ලද කිසියම් විශාල යානාවක් වන්නට පුළුවන් බවයි.  නමුත් අවසානයේදී සත්‍ය අනාවරණය වුනා. එනම් මෙමෙ සිදුවීමට හේතුව එකට ගමන් කරන උල්කාපාත ගොන්නක් මෙම තාරකාව වටා ගමන් කිරීමයි.
කර්තෘ : Aluth Pushparatna

මොන පොල් බෑයද?



කාලෙකට කලින් ලියලා පල කරන්න බැරි වෙච්ච ලිපියක් ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා මට හිතුනා ඒක ටිකක් සුද්ද බුද්ද කරලා පල කලා නං හොඳයි කියලා. මේක මේ මම පත්තරේක දැක්ක පොඩි තීරු ලිපියකින් උපුටා ගත්තු කෑල්ලක්. එහෙනං කියවලා බලමුකෝ.

වෙනදා වගේම අදත් බස් එකේ පෑ තුනක් විතර ගත කරලා ගෙදර ආවා. ඇවිදින් ඇදුම් මාරු කරලා ඇඟපතකාරිය හෝදගෙන උනු උනු ප්ලේන්ටියකුත් හදාගත්තා. ප්ලේන්ටිය බොන ගමන් සාලේ ස්ටූල් එක උඩ තිබ්බ අම්මා බලන සිරිකත පත්තරේ දැකලා තේක පැත්තකින් තියලා පත්තරේ බලන්ඩ ගත්තා.

පත්තරේ මුල ඉදන් අගටම තියෙන්නේ  එක එක කෑම ජාති හදන හැටි මේකප් දාන එවුවා මෙව්වා ඇඳුම් මෝස්තර එහෙම.කියවන්ඩ කියලා එහෙමට දෙයක් ඇත්තෙම නෑ... බවලත් උදවියගෙම පත්තරයක් නෙව.

ඔහොම පත්තරේ පෙරල පෙරල ඉන්නකොට එක ලිපියක් මගේ ඇහැ ගැටුනා.

ඒ ලිපියේ තිබ්බේ මේකයි,

පොල් ගෙඩියක් බිඳපුවහම ඒ පොල් ගෙඩියේ මුලින්ම ගාන්ඩ ඕන පිරිමි බෑය ලූ. ගෑනු පොල් බෑය ඉස්සෙල්ලහම ගාන්ඩ හොඳ නෑලූ.
(ඇහි තුනක් තියෙන පැත්ත ගෑනු බෑය වන අතර අනෙක් බෑය පිරිමි බෑය වේ. )

එහෙම ඉස්සෙල්ලාම ගෑනු පොල් බෑය ගෑවොත් ගෙදර ස්වාමිපුරුෂයාට හොඳ නෑලූ.

ඔන්න ඔය කතාව මං පොඩි කාලේ අපේ ආච්චි අම්මත් කාටදෝ මන්දා කියනවා ඇහිලා තියෙනවා.
මොකද හිතෙන්නේ ඒක ඇත්තක් ද ?

නෑ.. ඒක මිත්‍යාවක් ලූ. !!!

එහෙම දෙයක් නෑලූ.පොල් ගෙඩිය බින්දහම ඉස්සෙල්ලම ගෑනු බෑය ගාන එක හොඳයි කියලා තම පත්තරේ ඒ ලිපියේ තිබ්බේ. ඒකට හේතු විදිහට දීලා තියෙන්නේ ගෑනු බෑයේ ඇහි තුනක් තියෙන නිසා ඉක්මනින්ම නරක් වෙන්ඩ පුලුවන් ලූ. ඒ නිසා ඒක මුලින්ම ගාලා ඉවර කරන එක හොඳයි ලූ.

මට ඒ ලිපිය කියෙව්වහම හිතුනේ අපි අතර මෙන්න මේ වගේ බැහැර කළ යුතු මිත්‍යාවන් කොච්චරක් නම් කියලා තියෙනවද ?
කර්තෘ: සුජී මධුමාලී

එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක්බියර්ඩ්



 
 එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක් බියර්ඩ් යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකා ජනපදවල නැගෙනහිර වෙරළේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි මුහුදු මංකොල්ල කරුවෙකි. ඔහු උපන්නේ 1680 දී එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී බවයි සැලකෙන්නේ..
 
   මොහු 1716 දී පමණ බෙන්ජමින් හෝනිගෝල්ඩ්ගේ නාවික කණ්ඩායමට බැදුණි. පස්සෙ කාලෙකදී හෝනිගෝල්ඩ් අල්ලගත්ත නැවක අණදෙන නිලදාරියා වශයෙන් එඩ්වඩ් ටීච්ව පත් කලේය. කාලයාගේ ඇවෑමෙන් හෝනිගෝල්ඩ් කොල්ලකාර ජීවිතයට විශ්‍රාම දීමට තීරණය කලේය. මෙයින් ටීච්ගේ පාලනයට තව නැවක් ලැබුනේය.( හෝනිගෝල්ඩ් ඇණදුන් නැව) ටීච් විසින් ප්‍රංශ වෙළෙඳ වැවක් අල්ලා ගෙන එය ක්වීන් ඈන්ස් රිවෙන්ජ් ලෙසින් යළි-නම්කොට, එහි කුවක්කු 40 ක් සවි කළේය.

  ඔහු බොහෝ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවෙක් වූ අතර, ඔහුගේ විරුදනාමය ව්‍යුත්පන්න වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය උපදවන පෙනුම නිසාය; ඔහුගේ සතුරන් බියගැන්වීම සඳහා දැල්වූ ‍සේව නූල් තම තොප්පියට ‍යටින් සවි කර ගෙන සිටි බව කියැවේ. මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධානයක් පිහිටවූ ඔහු චාර්ල්ස්ටන්, දකුණු කැරොලයිනා වරාය වටලා අවරෝධ පැනවීය. එහි වැසියන්ගෙන් සාර්ථක ලෙසින් කප්පම් ලබා ගැනීමෙන් පසුව, ඔවුන් වෙතින් ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නැව, උතරු කැරොලයිනාවේ බෙයිෆර්ට්හී වැලි කන්දක ඇමිණිනි.

බොනට් හා පැවති ව්‍යාපාරික සම්බන්ධතාවයෙන් මිදුණු ඔහු, බච් නගරයේ පදිංචිවූ අතර, එහිදී ඔහු රාජකීය සමාවක් බාර ගත්තේය. එහෙත් යළි මුහුදු කොල්ලයේ යෙදීම ඇරඹූ ඔහු පිළිබඳ අවධානය වර්ජීනියාවේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් වෙත ඇති විය. මුහුදු කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා සොල්දාදුවන් හා නාවිකයන් කණ්ඩායමක් පිළියෙල කිරීමට ස්පොට්ස්වුඩ් යුහුසුළුවූ අතර, 22 නොවැම්බර් 1718 වන විට එසේ කිරීමට ඔවුහූ සමත් වූහ. දරුණු සටනක් තුලදී, ලුතිනන් රොබට් මේනර්ඩ් විසින් මෙහෙයවුනු නාවිකයන් කුඩා බලකායක් විසින් ටීච් සහ ඔහුගේ පිරිස මරා දැමිණි.

සූර සහ කපටි නායකයෙකු වූ ටීච්, බලය යෙදීම බැහැර කොට, ඒ වෙනුවට ඔහුගේ බියජනක පෙනුම භාවිතා කොට ඔහු විසින් සොරකමට පාත්‍රවූවන්ගෙන් බලාපොරොත්තු වූ දේ ලබා ගති. සාම්ප්‍රදායික ක්‍රෑර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහු වර්තමානයේ දැක්වීමට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔහුගේ යාත්‍රා වලට අණ දීමේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව එය සිදු කල අතර, ඔහුගේ අත් අඩංගුවට පත්වූවන්හට හිරිහැර කල බවක් හෝ මරා දැමූ බවක් හෝ වාර්තා නොමැත. ඔහුගේ මරණයෙන් පසුව බහුමනට පාත්‍රවූ අතර මුහුදු කොල්කෑම-තේමා කර ගත් ප්‍රභේද කිහිපයක ප්‍රබන්ධ කෘතීන් සඳහා පෙළඹවීම් ඇති කිරීමට සමත් විය.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

වැම්පයර් ඩ්‍රෝනා


drone යානා යනු අද වනවිට අපට බොහොම හුරු පුරුදු උපකරණයක් වෙලා. ඉහල අහසේ සිට විවිධ උත්සව අවස්ථාවන් වලදී චායාරුප ගැනීමේ සිට ඉතා රහසිගත හමුදා ක්‍රියාමාර්ග වලදී පවා මේ drone යානා භාවිතා වෙනවා. මෙවන් රහසිගත මෙහෙයුම් වල යෙදෙන්නට අලුත්ම drone වර්ගයක් Defense Advanced Research Projects Agency (DARPA) ආයතනය නිපදවා තිබෙනවා. මෙම drone එකෙහි ඇති විශේෂත්වය වන්නේ එය තනා ඇති අමුද්‍රව්‍ය සියල්ලම සුර්යාලෝකය ලැබෙන විට වායු බවට හැරී drone එක සම්පුර්ණයෙන්ම විනාශ වී යාමයි. මෙමගින් එම රහසිගත ක්‍රියාමාර්ගය පිළිබඳව කිසිදු සලකුණක් ඉතිරිවන්නේ නැහැ. සුර්යාලෝකය හමුවේ විනාශවී යාමේ මේ ලක්ෂණය නිසා මෙය Vampire drone එක ලෙස හඳුන්වනවා...

කර්තෘ: Aluth Pushparatna