Thursday, April 21, 2016

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට රජගල හෙවත් රාස්ස හෙල


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කළ ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල හෙවත් රාස්ස හෙළ නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භූමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී.මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයක ද තැන්පත් කර දාගැබ් සාදන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ මෙම රජගල හෙවත් රාස්ස හෙළ මුහුදු මට්ටමෙන් අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්ත තද බෑවුම් සහිත වුවද උතුරු පැත්ත මායිම් වන්නේ ක‍්‍රමානුකූලවය.මේ පුද බිමෙහි පර්වතයක කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන බ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද පහත සඳහන් සෙල්ලිපිය අදත් දැක ගත හැකිය.“යෙ ඉමදිප පටමය ඉදිය අගනන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයයි.”මෙම පර්වත ලිපිය අසල ගරා වැටුණු දාගැබක නටබුන් ද පරණවිතාන මහතාම සොයා ගෙන ඇත. මේ අනුව මහාවංසයෙහි සඳහන් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීම හා ධර්ම ප‍්‍රචාරය පිළිබඳ ශිලා ලේඛන සාක්ෂියක් ලෙසින් (මිහින්තලයෙන් ලැබෙන ශිලා ලිපියට අමතරව) මෙය ඉතා වැදගත් සේ පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.

මේ රජගල පුද බිමෙහි මේ කාලයේ දීම ලියන ලද ගුහා ලිපි 22 ක් ද, පර්වත ලිපි හතරක් ද, පුවරු ලිපියක් ද ලැබී ඇති බව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ඔහුගේ 1961 - 62 පුරා විද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.“කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත්, අවසානයේ කන්ද පාමුල තැන්නටත් පැමිණේ. විවිධ හැඩ තල හා ප‍්‍රමාණවල ගොඩනැගිලි මේ බෑවුමේ දක්නට ඇත. මේ ගොඩනැගිලිවලට ඇතුල්වන තැන්වල දෙපස වාම් කොරවක් ගල් ද, මිනිස් වෙස් ගත් නාග රූප සහිත දොරටුපාල ගල් පුවරු ද ඇත.සඳකඩ පහන් කීපයක් මෙහි වැළලී තිබෙන්නට පුළුවන. මේ තැන්න හරහා යන ඇළ පායන කාලයට ජලය හි‍ඳෙයි. එසේ වුවද මේ විශාල ආරාමයේ විසූවන්ට අවශ්‍ය ජල පහසුව ලැබී ඇත්තේ මෙයිනි.ඇල පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති ගල් පාත්තර දෙක දක්වා කාණු බේරූ ගල් ලෑලි අතුරා ඇත. ගල් පාත්තර දෙකට ඉහළින් පුරාණ කාලයේ වහළයක් තිබී ඇත. මේ වහලයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත.මෙහි කැණීම් කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් පෙනුණේ කොරවක් ගල් දෙකේ මුදුන් පමණි. මෙය කොරවක් ගල් හා පඩි හතරකින් ද මනහර සඳකඩ පහණකින් ද යුක්තය. සඳකඩ පහණ මධ්‍යයෙහි නෙළුම් මලකින් අඩකි. ඉන් ඔබ්බෙහි පළා පෙති රටා සහිත රවුමකි. මෙහි නා රජ රුව පුන් කළස දරා සිටින්නේ අන් තැන්වල මෙන් තනි අතින්් නොව දෑතිනි.අම්පාර දිස්ති‍්‍රක්කයේ දිවුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රාජගල පුදබිම සහිත වූ රජගල කඳු වැටිය පිහිටියේ ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගලතැන්න ජනාවාසයට බස්නාහිර දෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි ස්තූපයක නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳව සඳහන් කරන විට මිහින්තලේ ඇති මිහිඳු ගුහාව වැනි ගුහාවක් රජගල ද දක්නට ලැබේ. මේ පුද බිමෙන් ලැබෙන සෙල් ලිපි පහක පමණ මහා සංඝයාට පුදන ලද ලෙන් පිළිබඳ සී. ඩබ්ලිව්. නිකුලස් මහතා මෙසේ සඳහන් කර ඇත. “සද්ධාතිස්ස රජුගේ පුතුන් දෙදෙනා ද බිසෝවරුන් විසින් ද මේ ලෙන්වලින් සමහරක් පූජා කළ බව සෙල් ලිපි පහක සඳහන් වේ.” මේ කරුණු අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණේ මධ්‍යස්ථාන වූ තිස්සමහාරාමය, සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල ද පැරණි බෞද්ධ අනන්‍යතාව ඉතා පැහැදිලි ලෙසින් ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රදේශයක් බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.
කර්තෘ: Agra Sanjeewani

No comments:

Post a Comment