Wednesday, April 20, 2016

ඓතිහාසික නිලගම රජමහා විහාරය



මාතලේ දිස්ත්‍රික් මායිමේ පිහිටි නිලගම රජමහා විහාරස්ථානය සහ ඒ ආශි‍්‍රත භූමිභාගය ඓතිහාසික නටඹුන්වලින් ගහනය. වළගම්බා රජු සැඟවී සිට, පසුව එම සැඟව සිටි ස්ථානයේ මේ විහාරය කරවන ලදැයි සැලකේ.

ගල්ලෙනක් ආශි‍්‍රතව පිහිටි නිලගම රජ මහා විහාරය විවිධ යුගයන්හි දී ප්‍රාදේශීය පාලකයන් විසින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. මෙම භූමිය වටා ඇති කඳුගැට මුදුනෙහි චෛත්‍ය සතරක් තිබූ බවට සැලකිය හැකි නටබුන්ද දක්නට තිබේ. අනුරාධපුර යුගයේ මුල්භාගයට අයත්යැයි සැලකෙන සෙල්ලිපියක් මෙම පර්වතයෙහි නිරිත දෙසින් දැක ගත හැකිය. එමෙන්ම මෙහි ගල්කුලක් මත තවත් සෙල්ලිපි දෙකක් ඇති අතර ඒවායේ අක්ෂර මැකීයමින් පවතී. මෙම විහාර භූ®මියෙහි චෛත්‍යයක නටබුන්ද දක්නට ඇත.

මෙම විහාරස්ථානයේ දැනට විද්‍යමානව ඇති සියලු ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන්ට අයත් බව නිගමනය කළ හැකිය. නිලගම චිත්‍ර ශිල්පී පරම්පරාවෙහි ශිල්පීන් විසින් මෙම විහාරස්ථානයේ චිත්‍ර නිර්මාණය කරන ලද බව පැරැණි ලේඛනයන්හිද සඳහන්වේ.

මෙම විහාරය පිහිටි ලෙන වළගම්බා රජ අවධියේ සිට විහාරස්ථානයක්ව තිබුණද පසුව විවිධ හේතු නිසා විනාශ වී මහනුවර යුගයේ නැවතත් පිළිසකර කර ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ භූමිය පිළිබඳ වැඩිදුර ගවේෂණයක් සිදුකළහොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බව විද්වතුන්ගේ මතයයි.

නිලගම රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ධූරයේ කටයුතු කරන්නේ මඩහපොළ ගුණරතන හිමියන්ය.වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මේ විහාරස්ථානයේ පැරැණි චිත්‍ර හා ප්‍රතිමාද චෛත්‍යද වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව සංරක්ෂණය කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ භූමිය කෙරෙහි මෙයට වඩා වැඩියෙන් යොමුවන්නේ නම් මැනැවැ’යි මඩහපොළ ගුණරතන හිමියෝ පවසති. මෙබඳු පින්බිම් සුරැකගෙන අනාගත පරපුරට දායාද කිරිම අප කාගේත් යුතුකමක් වන්නේය.
මෙවැනි ඓතිහාසික වැදගත්කමක් ඇතී ස්ථාන ගැන කිසිවෙකුත් නොදනී ..එයට හේතුව මා නොදනී..නමුත් කිය යුතු දෙයක් ඇත ...අද ලංකාවේ අය පාරවල් අයින්වල ඇති සිද්ධස්නාන වැදපුදා ගනීතී නමුත් රටේ අනාගතයටද මේවා මෙලෙසටම වල් වැදෙනු ඇත....

ස්තූතී
උපුටා ගැනිමක් සහිතය..

කර්තෘ: නිල්මිණි වීරසිංහ

No comments:

Post a Comment