Wednesday, April 20, 2016

හිස තෙල් ගෑමේ මංගල්‍යය


නිරෝගීී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ තෙල් හා නානු සකස් කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යමත් සාපත්‍යයට මුළුමනින්ම උර දෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය.
මුළු ගමටම තෙල් හා නානු සකස් කොට බෙදා දෙනු ලබන්නේ ද පන්සලයි. මෙය ඒ සඳහා කේන්ද්‍රස්ථානයයි. උදයේ ම පන්සලට ගොස් තෙල් හා නානු ගෙන ඒම ඉපැරණි සිරිතයි. මෙයට දශක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදාය රටපුරා හැම පන්සලකින්ම සිදු කෙරුණ ද, අද එය ගමේ පන්සලෙන් දුරස්ව ගොස් නිවෙස්වලට පමණක් සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක හාමුදුරුවන් මේ පැරණි සිිරිතට මූලිකත්වය දෙමින් හිසට තෙල් හා නානු සකස් කිරීම ගැන ද අප පැසසිය යුතුය
පැරැණි පුස්කොළ පොතක වට්ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ -
කලාඳුරු අල, කංකුනප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳ ගනු ලැබේ. ඉන්පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගනු ලැබේ. එයින් ලැබෙන දියරය නානු ලෙසද භාවිතා කෙරේ.හිස තෙල් ගාන උළෙලේදී මේ මහෞෂධ තෙල් හිසට ගල්වා ගන්නේ ද නිරෝගී වැඩිහිටියකු ලවාය. එසේ නැත්නම් ගෙදර බුදුන් ලෙස සලකන දෙගුරුන් ලවාය. එසේත් නැත්නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නැත්නම් නායක හාමුදුරුවන් ලවාය.
සිවු දිසාවේ වෙසෙන ඥතීන් නිවෙස්‌වලට පැමිණෙන්නේ ද හිසතෙල් ගාන අවුරුද්දටය. බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමැඳ හිසට තෙල් ගාවා ගැනීම අද බොහෝ පළාත්වල සිදුවන අනගි චාරිත්‍රයකි. හිසට තෙල් ගා ගෙන ස්‌නානය කොට අලුත් වස්‌ත්‍රවලින් සැරසී එකට හිඳ ආහාර අනුභවය ද හිස තෙල් ගාන දිනයේ සිදුවේ. හැම මුහුණකම සතුට පිරි සෞභාග්‍ය පතා ඊළඟ වසර එළැඹෙන තුරු ජීවිතයට කිසිදු උපද්‍රවයක්‌ ව්‍යසනයක්‌ නොමැතිව ජීවත්වීමට ප්‍රාර්ථනා කිරීම මෙහි තේමාවයි. නිමිත්තයි.
හිසතෙල් ගෑම සඳහා යොදා ගන්නා තෙල් වර්ග -
තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට තෙල සකසනු ලැබේ. මේ තෙල් හා නානු හිසට ගා නෑම සිදු කිරීම හිසතෙල් ගෑමේ උළෙලේ සමාප්තියයි. මේ සඳහා උපයෝගී කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාඛ සාරයයි. සොබා දහමෙන් මිනිසාට ලැබී ඇති මේ අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යයක් ද ? එයින් විදහා පාන්නේ ජීවක ගුණයයි. මිනිසාගේ හිසේ රෝග නිවාරණයට හිසේ තෙල් ගෑම හේතු කාරක වේ. හිසේ නිතර වේදනාව, අව්වේ යාම අගුණවීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට හිසේ තෙල් ගෑම අතිශය ගුණදායක වේ. බටහිර වෙදකමේ ද නැති මේ මහාසාර හිස ගැල්වීමෙන් අපට දැනෙන්නේ අමුතු සිසිලකි. සුවයකි.
කොහාගේ සුමිහිරි නාදයත්, එරබදු මල්වල පිපීමත් සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමක්ය. කාලය අනුව ඒවා ද පිපී ඇත්තේ වසරක් ගෙවී තවත් වසරක් එළැඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක් වශයෙනි. සතුට සියල්ලන් අතර බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදිය තුරන් කර සාමුහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි. නිරෝගී ජීවිතයක් උදෙසා නිරෝගීමත් වැඩිහිටියෙකු ලවා නැකතට හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය. වත්මන් ලෝකයේ තිබෙන විවිධ උත්සව අතර සිංහලයන් හා හින්දු භක්තිකයන් විසින් සමඟි දමින් බැඳීි පැවැත්විය හැකි එකම උත්සවය මේ බක්මහ උළෙලයි.
කර්තෘ : Nilakshi Bandara

No comments:

Post a Comment