Thursday, April 21, 2016

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට රජගල හෙවත් රාස්ස හෙල


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කළ ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල හෙවත් රාස්ස හෙළ නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භූමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී.මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයක ද තැන්පත් කර දාගැබ් සාදන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ මෙම රජගල හෙවත් රාස්ස හෙළ මුහුදු මට්ටමෙන් අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්ත තද බෑවුම් සහිත වුවද උතුරු පැත්ත මායිම් වන්නේ ක‍්‍රමානුකූලවය.මේ පුද බිමෙහි පර්වතයක කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන බ‍්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද පහත සඳහන් සෙල්ලිපිය අදත් දැක ගත හැකිය.“යෙ ඉමදිප පටමය ඉදිය අගනන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ” එහි අර්ථය මෙසේය. “මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ ස්තූපයයි.”මෙම පර්වත ලිපිය අසල ගරා වැටුණු දාගැබක නටබුන් ද පරණවිතාන මහතාම සොයා ගෙන ඇත. මේ අනුව මහාවංසයෙහි සඳහන් පරිදි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීම හා ධර්ම ප‍්‍රචාරය පිළිබඳ ශිලා ලේඛන සාක්ෂියක් ලෙසින් (මිහින්තලයෙන් ලැබෙන ශිලා ලිපියට අමතරව) මෙය ඉතා වැදගත් සේ පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.

මේ රජගල පුද බිමෙහි මේ කාලයේ දීම ලියන ලද ගුහා ලිපි 22 ක් ද, පර්වත ලිපි හතරක් ද, පුවරු ලිපියක් ද ලැබී ඇති බව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා ඔහුගේ 1961 - 62 පුරා විද්‍යා පාලන වාර්තාවේ සඳහන් කර ඇත.“කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාවකටත්, අවසානයේ කන්ද පාමුල තැන්නටත් පැමිණේ. විවිධ හැඩ තල හා ප‍්‍රමාණවල ගොඩනැගිලි මේ බෑවුමේ දක්නට ඇත. මේ ගොඩනැගිලිවලට ඇතුල්වන තැන්වල දෙපස වාම් කොරවක් ගල් ද, මිනිස් වෙස් ගත් නාග රූප සහිත දොරටුපාල ගල් පුවරු ද ඇත.සඳකඩ පහන් කීපයක් මෙහි වැළලී තිබෙන්නට පුළුවන. මේ තැන්න හරහා යන ඇළ පායන කාලයට ජලය හි‍ඳෙයි. එසේ වුවද මේ විශාල ආරාමයේ විසූවන්ට අවශ්‍ය ජල පහසුව ලැබී ඇත්තේ මෙයිනි.ඇල පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති ගල් පාත්තර දෙක දක්වා කාණු බේරූ ගල් ලෑලි අතුරා ඇත. ගල් පාත්තර දෙකට ඉහළින් පුරාණ කාලයේ වහළයක් තිබී ඇත. මේ වහලයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත.මෙහි කැණීම් කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් පෙනුණේ කොරවක් ගල් දෙකේ මුදුන් පමණි. මෙය කොරවක් ගල් හා පඩි හතරකින් ද මනහර සඳකඩ පහණකින් ද යුක්තය. සඳකඩ පහණ මධ්‍යයෙහි නෙළුම් මලකින් අඩකි. ඉන් ඔබ්බෙහි පළා පෙති රටා සහිත රවුමකි. මෙහි නා රජ රුව පුන් කළස දරා සිටින්නේ අන් තැන්වල මෙන් තනි අතින්් නොව දෑතිනි.අම්පාර දිස්ති‍්‍රක්කයේ දිවුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රාජගල පුදබිම සහිත වූ රජගල කඳු වැටිය පිහිටියේ ගල්ඔය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගලතැන්න ජනාවාසයට බස්නාහිර දෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙහි ස්තූපයක නිදන් කර ඇති බව ඉතා ප‍්‍රකට කරුණකි. මේ පිළිබඳව සඳහන් කරන විට මිහින්තලේ ඇති මිහිඳු ගුහාව වැනි ගුහාවක් රජගල ද දක්නට ලැබේ. මේ පුද බිමෙන් ලැබෙන සෙල් ලිපි පහක පමණ මහා සංඝයාට පුදන ලද ලෙන් පිළිබඳ සී. ඩබ්ලිව්. නිකුලස් මහතා මෙසේ සඳහන් කර ඇත. “සද්ධාතිස්ස රජුගේ පුතුන් දෙදෙනා ද බිසෝවරුන් විසින් ද මේ ලෙන්වලින් සමහරක් පූජා කළ බව සෙල් ලිපි පහක සඳහන් වේ.” මේ කරුණු අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණේ මධ්‍යස්ථාන වූ තිස්සමහාරාමය, සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල ද පැරණි බෞද්ධ අනන්‍යතාව ඉතා පැහැදිලි ලෙසින් ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රදේශයක් බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.
කර්තෘ: Agra Sanjeewani

රබර් සෝඩා වෙයි


ඉංගිරිසි ජාතික ජෝශප් පී‍්‍රස්ට්ලි රසායන විද්‍යා ඉතිහාසයෙහි අමරණීයත්වයට පත් වූයේ 1774 ඔක්සිජන් සොයා ගැනීම නිසා ය. ඒ කීර්තිමත් සොයා ගැනීම නිසා ඔහු සෝඩා වතුර සොයා ගත් බව අද ලෝකයට අමතකව ගොස් තිබේ. බුබුළු දමන මෘදු දියරයක් ලෙස අද ලොව පුරා බීමක් ලෙස භාවිත කෙරේ. එහෙත් ඔහු සොයා ගත් සෝඩා වතුර එදා ඔහු නම් කළේ ‘රබර්’ කියා ය. එදා ඔහු එය රබර් කියා නම් කළේ පැන්සල් ඉරි මැකීමට ඒවා යොදා ගත හැකි නිසා ය.

මීට අවුරුදු පන්සීයකට පමණ පෙර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ලියූ සටහන්වල ඇති කරුණුවල සත්‍යතාව මිනිසාට අවබෝධ වුයේ බොහෝ කලකට පසුව ය. පොසිල ගැන, රුධිර සංසරණය ගැන, පොළොව විශ්වයේ හරි මැද නො වන බව, වස්තු ඉහළට බිමට පතිත වීම ගැන, මිනිස් සිරුර ගැන ආදී වශයෙන් ලියා තැබූ අදහස්වල සත්‍යතාව අද තහවුරු වී තිබේ.  

රජ වාසලේ කවටයා - අන්දරේ

අන්දරේ ශී‍්‍ර ලංකාවේ රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ (රාජ්‍ය කාලය: 1779-1797) රජවාසල කවටයාය. උස් මිටිකම්, තරාතිරම් නො බලා හැමදෙනකුට ම කවටකමින් සංග‍්‍රහ කිරීමට සමත්කම් දැක්වූ සිංහලයෙකි. මාතර දික්වැල්ලේ උපන් අයකු ලෙස සැලකෙන අන්දරේ මිය ගිය තැන පසු කාලයක ඉදි කළ ස්මාරකයක් ද තිබේ. අන්දරේ උපතින් ලත් කවීත්වයක් හා මුඛරිකමක් ඇත්තෙකි. ඒ කාලේ හැටියට සෑහෙන උගත්කමක් ඇති ව සිටි අන්දරේගේ පියා ඔහුට උගන්වන්නට උත්සහ කළ ද ඉන් පලක් නො වීය. එහෙත් ඔහු උපහාසයෙන් හා බුද්ධියෙන් උගතුන් පවා පරදවනසුලූ විය. ඔහු හිටිවන ම කළ කවි නිර්මාණ ද උගතකුට පවා කළ නො හැකි තරම් ප‍්‍රශස්ථ විය. පොතපත ඉගෙනීම නො කළ අන්දරේ මෝඩයෙකැ යි සිතා නොයෙක්  අයුරින් ඔහුට විහිළු කර විනෝද වන්නට තැත් කළ අයට ඔහු පෙරළා දුන් පිළිතුරුවල ගැබ් වූ උපහාසය කෙතරම් සියුම් වීද යත් ඉන් පහර කෑ අයටත් නො සිතූ පරිදි රසයක් ලබා දුන්නේ ය. ඒ නිසා ම ඔහු එකල රටපුරා බෙහෙවින් ජනපි‍්‍රය පුද්ගලයක් විය. කවටකම් කිරීමට ඔහු සතු දස්කම් පිළිබඳ කතා ඇසූ රජු ඔහු ගෙන්වා රජවාසල කවටයා ලෙස පත් කර ගත්තේය. 
 
ඔහු පිළිබඳ ව කියවෙන කවි හා කතා රාශියක් තිබේ. එක් කතාවක් මෙසේය: 

විනෝදකාමී රසවතකු වූ රජතුමා දිනක් අන්දරේට තේරවිල්ලක් කවියෙන් කීවේය. 
    දාර දෙකක් එක පිට එක කර      තැනුවා
    පාර තිහක් තැළුවට බියකුත්        නැතුවා
    කොන් සතරයි කනු සතරයි ගෙට   ඇතුවා
    තෝරාපන් ඊයේ මඟ දී              දුටුවා

අන්දරේ ඒ ඇසූ සණෙකින් දුන් පිළිතුර මෙසේය:
    දාර දෙකක් එක ළඟ එක        ගැවසීය
    පාර තිහක් තැලූවට බියකුත්       නැතිය
    වට පිට යන කලට කනු සතරින්     යාය
    මට දැනෙනා ලෙසින් මහ රජ     ඉබ්බාය
 
අන්දරේ ඒ කවිය ඔස්සේ තමන්ව ද ඉබ්බකුට සමාන කළ බව තේරුම් ගත් රජතුමා ඔහුගේ දක්ෂකම ගැන ප‍්‍රශංසා කළේය. (ළමා හා යොවුන් විශ්වකෝෂය - Percy Jayamanna)

 අමතර : අන්දරේ මිහිදන් කල ස්ථානය මෙතනින්බලන්න පුලුවන්.

ඇන්ටිකීතර යාන්ත්‍රණය

වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.


ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computerලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.

මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය.  ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය. 

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය. 

හාවෙකු පසුපස ගොස් පාසල් ගිය හෙන්රි


නූගත් දරුවකු වූ දහසය හැවිරිදි ජෝශප් හෙන්රි (1797-1878) 1813 නිවාඩු කාලයේ දී අසල ඇල්බනි නගරයේ පල්ලිය පිහිටි බිමේ සෙල්ලම් කරමින් සිටියේය. ඔහු හදිසියේ ම තමා ඉදිරියේ මතු වූ හාවකු පසුපස දුවන්නට විය. හාවා පල්ලිය තුළට දිව ගියේය. එහි අල්ලා තිබූ ලෑලි කීපයක් අඩු බව දැක ඔහු ඊළඟට කළේ ඒවා සොයා පල්ලිය පුරා පරීක්ෂා කිරීමය. එසේ පරීක්ෂා කරද්දී එහි පොත් රාක්කයක තිබූ පොතක් ඔහුගේ නෙත් ඇද ගත්තේය. එහි නම ‘ලෙක්චර්ස් ඔන් එක්ස්පෙරිමන්ටල් ෆිලෝසොෆි’ය. එහි අරුත ‘ප‍්‍රායෝගික දර්ශනවාදය පිළිබඳ දේශන’ යන්නයි. උඩින් පල්ලෙන් එය පෙරළා බැලූ ඔහුට එය සම්පූර්ණයෙන් ම කියවන්නට සිතක් පහළ විය. ඒ ගැන පැහැදුණු පල්ලියේ පූජකවරයා ඒ පොත හෙන්රිට පරිත්‍යාග කළේය. ඒ පොත කියවීමෙන් පසු ඔහුට ඉගෙනීම සඳහා තවදුරටත් පාසල් යන්නට සිත් විය. අවසානයේ දී ඔහු දහනව වන සියවසේ ඇමරිකාවේ විසූ විශිෂ්ටතම විද්‍යාඥයා බවට පත් විය. ඔහු ඇමරිකන් සිවිල් යුද සමයේ විද්‍යාව පිළිබඳ ජාතික ප‍්‍රබෝධයක් ඇති කිරීමට පුරෝගාමී වූයේය. වානිජ කටයුතු සඳහා යොදාගත් විදුලි පණිවුඩ ක‍්‍රමයට මග පෑ¥ ප‍්‍රථම විද්යුත් චුම්බක ටෙලිග‍්‍රාෆය ඔහුගේ නිපැයුමකි. කාලගුණ විද්‍යා නිරීක්ෂණ වාර්තා ක‍්‍රමයද ඔහු විසින් ආරම්භ කරන ලද්දකි. ඇමරිකාවේ අලූතින් පිහිටුවන ලද ස්මිත්සෝනියන් ආයතනයේ ප‍්‍රථම ලේකම්වරයා හා අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුයි. ඔහුගේ අවමඟුලට ඇමරිකානු ජනාධිපති රදර්ෆර්ඞ් බී. හේස් ද සහභාගි විය.

Wednesday, April 20, 2016

ලොව ප්‍රථම ඉතිහාසඥයා!

ලොව ප‍්‍රථම ඉතිහාසඥයා! ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි!
========================

ලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප‍්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප‍්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමීඩ ඊට අයත් වේ. ගීසා පිරමීඩය අද අපට අපේ ඇස්වලින් දකින්න පමණක් ඉතිරිවී තිබුණත් අනෙක් පුදුම දකින්න නොමැත. ඒවා විනාශ වී අවසන්ය.

ලොව ඉපැරණි පුදුම 7 ක් තිබෙන බව අපි දන්නා නමුත් මේ ස්මාරක හා පිළිම පුදුම ලෙස නම් කළේ කවුරුද ?

පිරමීඩ හැර අනෙක් පුදුම සියල්ල නටඹුන් වී ගියත් ඒ ගැන එක සාක්ෂියක් ඉතිරි වී තිබේ. ඒ මෙම පුදුම ගැනත් ඒවායේ සවිස්තරාත්මක විස්තර හා ඒවායේ පිහිටීම් ගැනත් ලියා ඇති ලේඛනයන්ය. මේ විස්තර ලියා තැබුවේ පුද්ගලයා සුවිශේෂී කෙනෙකි. ලොව ප‍්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ ඔහුයි. ඉපැරණි පුදුම 7 මුලින්ම නම් කළේ ද ඔහුයි. ඔහු ගී‍්‍රක ජාතික හෙරඩෝටස්.

‘ඉතිහාසයේ පියා’ ලෙස සැළකෙන හෙරඩෝටස් උපන්නේ කි‍්‍ර.පූ. 484 දීය. මියගියේ කි‍්‍ර.පූ. 430 දී. උපන් ස්ථානය හැලිකොනේසස්. ඈත අතීතයේ හැලිකොනේසස් ලෙස හැඳින්වුණේ වර්තමානයේ තුර්කියේ බ්‍රෝඩම් නුවරයි. එදා හැලිකොනේසස් නුවර අයත් වුණේ ‘සුලූ ආසියාවට’.

හෙරඩෝටස් සංචාරකයෙක්. දක්ෂ ලේඛකයෙක්. එසේම සවිස්තරාත්මක වාර්තාකරුවෙක්. හෙරඩෝටස් තර්කානුකූලව, ක‍්‍රමාණුකූලව, ඓතිහාසිතක තොරතුරු සවිස්තරාත්මකව සටහන් කර තැබූ නිසයි අද ඔහු ලොව පිළිගැනීමකට ලක්වී සිටින්නේ. ඔහු මිත්‍යා කතා මොනවාද සත්‍යය කුමක්ද හොඳින් තේරුම් බේරුම් කර ගනිමින් නිවැරදි මූලාශ‍්‍ර මත අනුව ඉතිහාස

තොරතුරු වාර්තා කර තිබේ.


හෙරඩොටස් විසින් ලේඛනගත කරන ලද ඊජිප්තුව පිලිබඳ විස්තරයක්.

කුඩාකාලයේ සිටම සාහිත්‍යයට යොමු වීම නිසා ඔහු සාහිත්‍යකරණයේ නියැලූණේය. කුඩා කළ සිට නිතරම වාගේ ගී‍්‍රසියේ ඇතන්ස් නුවරට යන්න එන්න වූ හෙරඩෝටස් බටහිර දෙසින් කළු මුහුද දක්වා සංචාරයේ යෙදුණේය. එමෙන්ම දකුණුදිග ඉතාලියේ මෙන්ම ඊජිප්තුවේද ආසියානු නගර වන ටයිර්, බැබිලෝන්, එක්බටානා, නිනේව් සහ සූසා නගරවලද සංචාරය කළේය.

හෙරඩෝටස් ඉතිහාසය ලේඛනගත කළේ කතාන්දර කියනා විලාසයෙනි. ඔහු ඔහුගේ විස්තර අලංකාරව හා සිත් ඇදගන්නා අයුරින් ලියා තැබීමට උපමාරූපක යොදා ගෙන තිබේ. ඔහු උදාහරණ ලෙස යොදා ගත්තේ ඔහු ජීවත් වූ සමාජයේ තොරතුරුය. සිදුවීම්ය. මේ නිසා අතීතයේ සමාජ විස්තර පවා අද අපට දැනගැනීමේ වාසනාව උදාවී තිබේ.

     කර්තෘ: තරංගිකා රාජපක්ෂ 
න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.
ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී.